Category Archives: මොහඳූර නසන්නට යතිවර පිං බිම

මොහඳූර නසන්නට යතිවර පිං බිම

Sri Chandawimala Dhamma Treatises Preservation Board

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය

Sri Chandawimala Dhamma Treatises Preservation Board

දීර්ඝ යටත් විජිත පාලනයකින් නිදහස ලැබූ ශ්‍රී ලංකාව තුළ බෞද්ධයන් යටපත් කර කතෝලික ආගම සහ ඉංග්‍රීසි උගත් බටහිර සංස්කෘතිය වැළඳගත් සමාජයේ ඊට අනුකූලව රැකියා බෙදී යාම සමාජ වරප්‍රසාද ලැබීම වැළැක්විය නොහැකි විය. ඊට ප්‍රති විරුද්ධව සිංහල සමාජය ගොඩනැගීමත් බෞද්ධයන් ආගමික දැනුමින් පෝෂණය කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් විය.

මේ සංස්කෘතික වෙනස උදෙසා පානදුරා වාදාදී වාද අනගාරික ධර්මපාල තුමාගේ සේවය, එල්.එච්. මෙත්තානන්ද, බද්දේගම විමලවංශ හිමියන් ඇතුලු පිරිසක් ගෙන ගිය ජාතික ව්‍යාපාර බෙහෙවින් උපකාරී විය. එහි දේශපාලන නැඹුරුව උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි විය. පරියාප්ති ශාසනයේ මෙකල සරල තේරුම් කිරීම් සඳහා රේරුකානේ චන්දවිමල මහනාහිමියන් 2500 බුද්ධ ජයන්තිය උදෙසා ආරම්භ කළ බෞද්ධ පොත් සමූහය ඉවහල් විය.යුගයේ උගතුන්ගේ ප්‍රශංසාවට පත් මේ පොත් නිහඬව කළ මහා ශාසන සේවාවක් ලෙස ප්‍රචලිත විය.

ඉතා අඩු මිලට සැපයීම හා ක්‍රමවත් බෙදා හැරීමක් නොවූ බැවින් 1987වන විට මේ පොත් පවත්වාගෙන යාමට අසීරු විය. පූජ්‍ය ගොඩිගමුවේ සෝරත, හේන්ගොඩ කල්‍යානධම්ම යන මහනාහිමියන්ගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ජනතාව අතරට මේ පොත් ගෙන ගියත් සංවිධානයක් වශයෙන් ගොඩනැගී නොතිබීම නිසා සමහර පොත් මිලට ගැනීමට පවා නැතිවිය.

රේරුකානේ නාහිමියන්ට උපස්ථානය පිණිස වැඩම කළ පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ගේ යෝජනාවක් හා කැපවීම මත 1987.මාර්තු 01 වන දින ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවන ලදී.
ආචාර්ය හොරණ වජිරඤාණ නාහිමි, ගත්කතුවර කරුණාසේන ජයලත් මහතා ආදී ප්‍ර‍දේශයේ උගතුන් කීපදෙනෙකු ද සාමාජිකයන් වශයෙන් බඳවාගෙන එතෙක් පොත් පවත්වාගෙන ගිය හේන්ගොඩ කල්‍යාණධම්ම හිමිපාණන් සභාපතිත්වයෙහි හා කුඩා අවදියේ පටන් විහාරස්ථානයේ සියලු කටයුතු වලදී සම්බන්ධ වූ වර්තමාන ලේකම් චන්ද්‍රපාල තනිප්පුලිආරච්චි මහතා ලේකම් තනතුරෙහි පිහිටුවා මේ සංවිධානය පිහිටුවිණි.

අවුරුදු විසි පහක් පමණ කාර්යක්ෂමව කටයුතු කරමින් නාහිමියන්ගේ සියලු පොත් නැවත මුද්‍රණය කිරීමෙන් සමාජගත කිරීමට මණ්ඩලය සමත් වී සිටී. නාහිමිපාණන් ගේ ධර්ම පාඨකයන් බොහෝ දෙනෙකු කරන කුදුමහත් ආධාර මෙහිදී බොහෝ උපකාරී විය.

තොරතුරු තාක්ෂණය දියුණු වී ඇති මේ යුගයේ අන්තර්ජාලය හරහා තොරතුරු සොයන්නන්ට නාහිමියන්ගේ අදහස් කියවීමට නො ලැබුණ හොත් බණ වැනි බණ කියන්නන් නිසා විය හැකි පාඩුව ආවරණය කරණු පිණිස අපද අන්තර්ජාලයට පිවිසිය යුතුයි කල්පනා කලෙමු.

ඒ අනුව 2012 ජනවාරි මස 08 වැනි පුන්පෝ දින මෙම www.rerukanemahanahimi.lk  වෙබ් අඩවිය විවෘත කෙරිණ.


අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත සියලු කෘතීන් පහසුවෙන් ගවේශනය කර හැකි පරිදි ප්‍රධාන කාණ්ඩ හතරක් ලෙස වර්ගීකරණය කර ඇත.

All books written by the Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero are thoughtfully organized into four main groups to make it easier for readers to find what they’re looking for.

Venerable Kirioruwe Dhammananda Thero

පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ

ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායේ ලේඛකාධිකාරී, ශ්‍රී චන්දවිමල ධර්මපුස්ථක සංරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය සහ සඳවිමල සෙනසුන්හි අධිපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ

පියෝ ච ගරුභාවනීයෝ – වත්තා ච වචනක්ඛමෝ
ගම්භීරං ච කථං කත්තා – නො චට්ඨානේනියෝජයේ

යමෙක් ස්වකීය ශීල සම්පත්තියෙන් ශිෂ්‍යයන්ට ප්‍රිය වන්නේ ද, ගරු වන්නේ ද, සම්භාවනා කටයුතු වන්නේ ද, ශිෂ්‍යයන්ට අවවාද කරන්නේ ද, චෝදනා ආකාරයෙන් ප්‍රශ්න අසන විට ඉවසන සුලු වන්නේ ද, ගැඹුරු ධර්ම කියා දෙන්නේ ද, සිය සිසුන් සුදුසු තැන්හිම යොදන්නේ ද, ඒ උතුම් කල්‍යණමිත්‍රයා නම් වේ..

ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායේ ලේඛකාධිකාරී, ශ්‍රී චන්දවිමල ධර්මපුස්ථක සංරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය සහ සඳවිමල සෙනසුන්හි අධිපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ වන විට පැවිදි කර සිටින ශිෂ්‍යවරයන් දස නමට විශුද්ධි මාර්ගයේ සඳහන් පරිදිම උතුම් කල්‍යාණ මිත්‍රයෙකි

අපගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ මෙලව ජන්ම ලාභය ලැබුවේ කන්ද උඩරට බදුල්ලට නුදුරු කිරිඔරුව නම් රමණීය ගම් පියසේ දීය.

උන්වහන්සේ සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වේ. රත්නායක මුදියන්සේලාගේ අප්පුහාමි පියාටත් රත්නායක මුදියන්සේලාගේ උක්කුමැණිකා මෑණියන්ටත් සිටි එකම පිරිමි දරුවා වන රත්නායක මුදියන්සේලාගේ මුතුබණ්ඩා කුල කුමරු මෙලොව එළිය දුටුවේ 1951 අගෝස්තු මස 04 වැනිදා ය. ඔහු කුඩා කලදී ම පියා මිය ගොස් ඇත. ඉන්පසු උක්කුමැණිකා මව තම දරුවන් ද සමඟ බිබිල ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇත.

ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේ කුඩා කල පටන්ම ඉගෙනීමෙහි දක්ෂයෙකි. ඒ බව අදටත් ප්‍රකට වන කරුණකි. උන්වහන්සේ ගිහි කාලයේ මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන්ය. පසුව එම විද්‍යාලයෙන් ඉවත්ව කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා ඇත.

වහන්සේගේ ශිෂ්‍ය‍යකු ලෙස පැවිද්ද ලබා ගෙන ඇත. පැවිදි වූ පසුත් වසර තුනක් වැනි කාලයක් පාසැල් සේවයේ යෙදුණු අප ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේ 1980 අගෝස්තු මස 26 වන දින සේවය කළ යල්කුඹුර මහා විද්‍යාලයෙන් ඉල්ලා අස් වී ඊට පසු දින ම ලුණුගල සුනන්ද ලොකුහාමුදුරුවන්ගේ, මවගේ,ඤාතීන්ගේ සහ දායකයන්ගේ අකමැත්ත මැද රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ සොයා ඒමට පිටත් වී ඇත.

1980 අගෝස්තු මස 27 වන දින රාත්‍රී 8.20ට පමණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම පින්බිමට පා තැබීමට සහ රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ රුව දැකීමට භාග්‍යය උදාකරගෙන ඇත. මහනාහිමියන්ට කළ පළමු උපස්ථානය නම් 27වෙනි දින රාත්‍රියේ උන්වහන්සේගේ අතින් අල්ලා නැගිටීමට උදවු කිරීම ය.

ටැංගොඩ විහාරයේ සිටිය දී ශ්‍යාමෝපාලි වංශික මල්වතු විහාර පාර්ශවයේ මංගල උපොසථාගාරයේ දී මුලින් උපසම්පදාව ලබා ඇත. පසුව නැවතත් 1980 ඔක්තෝම්බර මස 05 වන දින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස උපසම්පදාව ලබා ‍ගෙන ඇත.

ඉන් පසු වසර 17ක් මුලුල්ලෙහි පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සෙවනැල්ල මෙන් හිඳිමින් උන්වහන්සේට ඇප උපස්ථාන සිදු කළහ. ඒ කාලය තුළ දී නාහිමියන් ගෙන් තමන්ගේ දහම් ගැටලුවලට විසඳුම් ද ලබාගත් වත්මන් විහාරාධිපතීන් වහන්සේ නිරවුල්ව ධර්මය පහදා දෙන යථිවරයෙකු බවට පත්ව ඇත.

1997 ජූලි 04 වන දින රේරුකානේ මහනාහිමියන් අපවත් වූයෙන් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ද කර තිබූ අවවාදයන්ට පිටු නො පාමින් සිදුකිරීමට වග බලා ගත්හ. එය මහනාහිමියන් සුජීවත්ව සිටින විට සැලකුවේ උන්වහන්සේට කරන උසස්ම ගෞරවය ලෙස ය.

ඉන් පසු ශ්‍රී විනයාලංකාරාරාමයේ විහාරාධිපති ධුරයට පත්වූයේ මහනාහිමියන්ගේ අග්‍ර උපස්ථායකව සිටි පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ මහනාහිමියන් ජීවත්ව සිටියදී සේම අපවත් වූ පසුද විහාරස්ථානයේ සියලු කටයුතු සොයා බලා කරන ලද්දේ ය. විහාරස්ථානයට සම්බන්ධ දායක පින්වතුන්ගේ සේම දහම් පොත්පත් කියවා පැමිණෙන පින්වතුන්ගේ ධර්මඥානය පිණිස ද භාවනා කර්මස්ථාන ලබාදීම පිණිස ද කටයුතු කරන ලොකුහාමුදුරුවෝ ඔවුනගේ දාන ධරම ආදී පින්කම් සඳහාද නොපිරිහෙලා ඇප කැප වන උත්ත මයෙකි.

විහාරස්ථානය මගින් පවත්වන දහම් පාසල, පොත් මණ්ඩලය ඉදිරියට කරගෙන යාමට අවශ්‍යය සියලු කටයුතු උන්වහන්සේ මනාව සංවිධානය කර ඇත. එහිදී දහම් පාසලේ ප්‍රධාන අනුශාසක ධුරයත්, ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලයේ සභාපතිත්වයත් විහාරාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේ දරනු ලබයි.

විහාරස්ථානයේ අනාගත පැවැත්ම ගැන සහ නිවන් පතා පැවිදි වන පිරිසට අවකාශ සලසා දෙනු වස් 1999 වර්ෂයේ පටන් ශිෂ්‍ය පිරිසක් ඇති කරගන්නා ලදී. එම ශිෂ්‍යයන් මනා ලෙස ධර්මයෙන් විනයෙන් සහ භාෂා ශාස්ත්‍ර දැනුමින් යුත් පිරිසක් කිරීම සඳහා අදටත් මහත් වෙහෙසක් ගන්නා ගුරුදේවෝත්තමයන් වහන්සේ අනාගත භික්ෂු පිරිසගේ අභිවෘද්ධිය පතා 2600 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව මනරම් භූමි භාගයක සඳවිමල සෙනසුන නමින් විවේකස්ථානයක් ගොඩ නගන ලදී.

අප ආචාර්යයන් වහන්සේ මේ වන විටද බෞද්ධ ලෝකයා වෙනුවෙන් ඉටු කරන සේවය අප්‍රමාණය. එය තව දුරටත් පුළුල් කිරීම් වශයෙන් ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ ද අභිවෘද්ධිය පිණිස 2007 වසරේ සිට එම නිකායේ ලේඛකාධිකාරී ධුරය ද උසුලනු ලබයි.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ අදහස් අනුව ම යමින් ස්වාර්ථ පරාර්ථ අභිවෘද්ධිය පිණිස වෙර වඩන අප ගුරුදේවෝත්තම ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය ශිෂ්‍යයන් වශයෙන් අප සියලු දෙනා ප්‍රාර්ථනා කර සිටිමු.

රේරුකානේ මහනාහිමිපාණන් වහන්සේගේ ජීවන චරිතය අළලා රචිත “මෙකල නිවුණු ඇත්තෝ ” නම් කෘතිය පිලිබදව කළ සංවාදයෙහි පළමු කොටස

බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය වු වටිනා ධර්ම දේශනා.

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාධිපති අති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ චරිතාපදානය උන්වහන්සේගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් සකස්කරන ලදී.

කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ

Venerable Kukulpane Sudassi Thero

පෙර කරන ලද පින් ඇත්තෝ මෙලොව ජනිත වන විට පින් නැමති සෙවනැල්ල මෙහි ගෙන එති යි යන බුදු වදන සපත කරමින් වරකාපොල කුකුල්පනේ ගම් පියසේ සහෝදරියන් තිදෙ‍නෙකුට සහ සහෝදරයන් පස් දෙනෙකුට කනිටුව ජී.ආර්.මුදියන්සේ සහ ජී.කේ.බේබිනෝනා දෙගුරුන්ට දාව 1973.06.08 වැනි දින මෙලොව එළිය දුටු සුමිත් ජයලාල් කුමරුවා මව්පිය සෙවනේ වැඩෙද්දී මූලික අධ්‍යාපනය ලැබුවේ තල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් ය. පාසැල් අධ්‍යාපනය අට වන ශ්‍රේණියෙන් හමාර කළ සුමිත් වයස අවුරුදු දාහතරෙ දී ප්‍රවෘර්ජා භූමියට පත් විය. සතරකෝරළ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිනුවන්ගමුවේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යෙයක් ලෙස 1987.11.05 වැනි දින කෑගල්ල හෙට්ටිමුල්ල විද්‍යාවාස මහ පිරිවෙණේ දී තවත් කුල දරුවන් තිදෙනෙකු සමඟ මේ උතුම් පැවිදි පින්කම සිදු විය.

ඉන් පසු සුමිත් ජයලාල් යන ගිහි නම වෙනුවට කුකුල්පනේ සිද්ධාර්ථ යන නම පැවිදි ආචාර්ය වරු විසින් තබන ලදී. මෙදිනම රාත්‍රී සිදු වූ විශේෂ සිදුවීමක් නම්, පෙර හුරුවකටදෝ මව්පිය ගුණ පිළිබඳ පැය දෙකහමාරක් පමණ ධර්ම දේශනා කිරීමයි. ඉන් පසු පැවිද්ද ලබාගත් පිරිවෙණෙන් ම මූලික අධ්‍යාපනය ලබා ප්‍රාචීන අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණට සම්බන්ධ විය. එසේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන අතරතුරදීම 1993 මැයි මාසයේ දී ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මඞගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවේ පිහිටුවන ලදී. එහිදී ප්‍රාතිමෝක්ෂය, පිරුවානා පොත් වහන්සේ ආදිය සම්පූර්ණයෙන් වනපොත් කළ අතර පැවිද්ද හා උපසම්පදාව කෘතිය එළිදැක්වීමද සිදු විය.

උපසම්පදාවෙන් පසු පිරිවෙණ් අධ්‍යාපනයෙන් ඈත් වූ සිද්ධාර්ථ ස්වාමින්වහන්සේ ආධ්‍යාත්මික සුවය සොයා ගියේ කුරුණෑගල බඹරගල භාවනා මධ්‍යස්ථානය වෙත ය. මෙම භාවනා ස්ථානය කලක් ශ්‍රී ලංකා ශ්වේජින් නිකායට අයත් ආයතනයක් වූ බැවින් ශ්වේජින් නිකායේ මූලස්ථානය වන පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ මුල්ම වස් තුන් මාසය ගතකිරීමට අවස්ථාව උදාවිය. එම වස් තෙමස තුළ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගෙන් සහ ශාස්ත්‍රාචාර්ය හේන්ගොඩ කල්‍යාණධම්ම මාහිමිපාණන් වහන්සේගෙන් ධර්ම විනය පිළිබඳ බොහෝ දෑ උද්ග්‍රහණය කරගත හැකි වූයෙන් 1993.12.21 වන දින ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායික මහා සංඝයා ඉදිරියේ කුකුල්පනේ සුදස්සී යන නමින් නැවත උපසම්පදාව ලබා ගනිමින් ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායට ඇතුලත් විය. ඉන් පසුව භාවනා ප්‍රගුණ කිරීම සඳහා වැඩසිටි බඹරගල භාවනා මධ්‍යස්ථානයේ දී ප්‍රථම වරට අරියවංශ දේශනාවක් පවත්වන ලදී. එම වසරේම අග භාගයේ දී අතිපූජ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම මත පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ නිත්‍ය නේවාසිකත්වය ලැබීය. එතැන් සිට ශ්‍රී විනයාලංකාරාරාමාධිපති රේරුකානේ චන්දවිමල මහ නාහිමිපාණන් වහන්සේගේ ඇසුර උන්වහන්සේ අපවත් වන තුරු ම ලද හැකි විය.

1997.07.04 වන දින මහ නාහිමි අපවත් වන තුරුම උන්වහන්සේට උපස්ථාන කිරීමට දායක වීමේ භාග්‍යය ද ලැබීය. සුදස්සී ස්වාමින් වහන්සේ විනයාලංකාර දහම්පාසලේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම ද කලක් සිදු කරන ලදී. 1999 වසරේ දී විහාරස්ථානයේ කටයුතුවලින් විවේකය පැතූ සුදස්සී ස්වාමින් වහන්සේ විවෙකස්ථානයක වසර හයක පමණ කාලයක් ගතකළේ ය. 2006 වර්ෂයේ නැවතත් ශාස්ත්‍රීය අධ්‍යාපනයට යොමු වූ සුදස්සී ස්වාමින්වහන්සේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රෙව්දී සහ ශාස්ත්‍රපති උපාධීන් දිනා ගත්හ.

1999 වසරේ සිට හොරණ පෝරුවදණ්ඩ සත්ජන සංවිධානයට සම්බන්ධව සමාජ සහ ශාසන උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන අතර දැනට එම සංවිධානයේ උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරය ද දරනු ලැබේ.

එසේම ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික මහා සංඝයා වහන්සේලා විසින් එම නිකායේ කාරක සංඝසභික ධුරයක් සහ කර්ම වාගාචාර්ය ධුරයක්ද පිරිනමා ඇත්තේ උන්හවන්සේ සිදුකරන සමාජ ශාසනික සේවා තවත් හොඳින් සිදු කිරීම පිණිස ය.

කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ ප්‍රකටව ඇත්තේ ධර්ම කතිකයෙකු ලෙස ය. 2007 වසරේ සිට ගුවන්විදුලිය සහ රෑපවාහිනී මාධ්‍ය තුළින් ද ධර්‍ම දේශනා කරන අතර විටින් විට විදේශ ධර්‍ම ප්‍රචාරක කටයුතු සඳහා ද සහභාගි වෙති.

පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් විවිධ රූපවාහිනී මාධ්‍යයන් තුළින් දේශනා කරන ලද ධර්ම දේශනා සංස්කරණය කොට විඩියෝ පට ලෙස සකස් කොට ශ්‍රවණය කිරීම සඳහා පහතින් ඇතුලත් කර ඇත. මෙම ධර්ම දේශනා අඩංගු විඩියෝ පට ධර්ම දානය සඳහා පමණක් සකස් කෙරෙන බැවින් මෙම ධර්මදේශනාවල අඩංගු කිසිම දේශනාවක් හෝ ප්‍රකාශනයක් පිටපත්කර විකිණීමෙන් වළකින්න.

Visit Our YouTube Channel

සම්බන්ධ විය හැකි ආකාර